"දිවියට සවියක්" වැඩසටහනින් රත්නපුරයට රු. මිලියන 74 ක්

සංගණනයේ සංගණනයේ
සංගණනයේ සංගණනයේ

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ ක්‍රියාත්මක වන "දිවියට සවියක්" නිවාස යෝජනා ක්‍රමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 74 ක මුදලක් වෙන් කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කාන්තා හා ළමා අනුකමිටු සභාපතිනි නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය පැවසුවාය.ඇය මේ බව සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 27 දෙනෙකු සඳහා නිවාස ආධාර ලබා දීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අද (16) පැවැති වැඩසටහනට එක්වෙමිනි.

"දිවියට සවියක්" නිවාස යෝජනා ක්‍රමය යනු අඩු ආදායම්ලාභී පවුල් සහ විශේෂිත අවදානම් කාණ්ඩවල ජීවත්වන ජනතාවගේ නිවාස අවශ්‍යතා සපයා දීම උදෙසා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනකි.

ජීවත්වීමට සුදුසු නිසි නිවසක් නොමැති, ආර්ථිකමය වශයෙන් අසරණ, අවදානම් සහගත තත්ත්වයන්හි පසුවන හෝ අනතුරුදායක නිවාසවල ජීවත්වන ළමයින් සිටින පවුල් සඳහා සුරක්ෂිත නිවාස හිමිකමක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව ආයතනික රැකවරණයේ සිට සමාජගත වූ හා සමාජගත වීමට නිවසක් නොමැති ආයතන ගත දරුවන් මෙන්ම අනාරක්ෂත තත්ත්වයේ පසුවන අවධානම් සහගත දරුවන් සිටින පවුල් සඳහා නිවාස පහසුකම් මේ යටතේ ලබා දෙනු ඇත.

මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන එක් ප්‍රතිලාභී පවුලක් සඳහා රුපියල් මිලියන 02 ක (රු. 2,000,000/-) මූල්‍ය ආධාරයක් හිමිවන අතර, එය එක් වාරිකයක් රුපියල් ලක්ෂ 05 බැගින් වූ වාරික හතරකින් ලබා දීමට නියමිතය.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් , රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, පළාත් පරිවාස කොමසාරිස් ආර්.එම්.සී.එල්. රත්නායක යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභී පවුල්වල දෙමාපියන් සහ දරු දැරියන් පිරිසක් ද සහභාගී වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.

පුවත් සහ සිදුවීම්